කහවන් ගොයමට රන්දිය වැහැලා...

අද පට්ටන්දරේ මගේ මිත්‍රයෙක්ගෙන්(පාලිත)... මම දාන්න හිටපු ගීයටම ඔහු විස්තරයක් එවලා...පුදුම වැඩේ... සහෘදයන්ගේ සුසර වීම් ඉතින් පුදුමයක්මත් නෙමේ... ඔන්න උන්නැහේගෙම ලියවිල්ලෙන් (පුංචි පහේ සංස්කරණයකින් යුතුව)ඒවගත් මෙසේම...

"අපේ ඉතිහාසයේ බෞද්ධ වෙහෙර විහාර කඩා බිඳලා විනාශ කරපු බෞද්ධ රජෙක් හිටියානම් ඒ මහසෙන් රජතුමා විතරමද කොහෙද. එතුමා මහයානය වැලඳගෙන මහාවිහාරයෙ විසූ ථෙරවදී භික්ෂූණ්ට බල කළාලුනෙ මහායානය වැලඳගන්න කියලා. ඒක ප්‍රතික්ෂේප කළා කියලා මහා විහාරය සහ ලෝවාමහපාය ඇතුලු වෙහෙර විහාර ගණනාවක් විනාශ කළාලු. ඕක ඉවසගන්න බැරුව මේඝවණ්නාභය කියලා එතුමාගෙම ඇමතියෙක් කැරලි ගැහුවලු.

එදත් රජවරු එක්ක එකට වැඩ කරපු උන් රජුට අභියෝග කරලා තියෙනවා. ඒ වුනාට මේ දෙන්නා එකිනෙකා මරා ගන්න කලින් රජු වෙත රහසිගතව ගිය ඇමතියා රජුට වරද පහදලා දීලා රජුව යහමගට ගත්තා කියල තමයි කියන්නෙ. අද කොහෙන්ද එහෙම ඇමත්තොයි එහෙම රජවරුයි. කොහොමෙන් හරි තම වරද වටහා ගත් මහසෙන් රජු, අදටත් ලොව විශාලතම දාගැබ වන ජේතවනාරාමය හදවලා සංඝයාට පූජා කළාලු.

අක්කර 4670 ක භූමි ප්‍රමණයක් වට කරමින් විශ්මිත මින්නේරිය වැවත් හැදෙව්වෙ මෙතුමනෙ. මුලදි වැරදි අඩුපාඩු තිබුනත් රටට හිතවත් එක ඇමතියෙකුගෙ පිහිටෙන් යහමගට පැමිණි මහසෙන් රජු මරණින් පසු මින්නේරිය දෙවියො කියලා මිනිස්සු වන්දනාමාන කළාලු. ඒ කියන්නෙ වැරදි අඩුපාඩු තියෙන රජවරුත් කාලයාගෙ ඇවෑමෙන් දෙවිවරු වෙලා තියෙනවා. මං මේ කිව්වෙ වර්තමානෙත් එක්ක සංසන්ධනය කරන්න එහෙම නෙවෙයි.."

අපූරු ලියැවිල්ල නේද...ගීය ලියලා තියෙන්නේ "පන්සලේ පියතුමා..." විරුදාවලී ලැබූ, රේඛාව චිත්‍රපටියට ගීත ලියූ, ගරුතර මර්සලීණු ජයකොඩි හිමිපාණන්... එහෙව් පූජක උතුමන් අපේ ජාතියට වාසනාවන්... ගායනය නාලිනී රණසිංහ ගෙන්...

කහවන් ගොයමට රන්දිය වැහැලා, නියරින් ඉතිරෙනවා ...
ගස්වල හෙවණැලි වැඩියෙන් කළුවී, මිහිමත වැතිරෙණවා...
විහඟ වලා ගුවන වෙලා, දුර අහසේ නොපෙණී යනවා...
කවියක් ගීයට හැරුණ කලක් දෝ, ඉපනැලි නළියනවා...

මින්නේරිය වැව දැන් නිල් කැටයකි, තැන තැන රඟදෙනවා....
එක දෙක දිය ‍රැළි හුලඟට කැඩි කැඩි, සුදු කිරි මතුවෙණවා...
මුතු අමුණා ගී මුමුණා, දුර වෙරළට ‍රැළි ඇද්දෙනවා...
මින්නේරිය වැව පටසළු ඇඳගෙන, ඔන්චිලි පැද්දෙනවා...

මහසෙන් රජ වැඳ නින්දට යන්නට පෙරයම සැරසෙනවා...
අවුරුදු දහසක් කෙත්බිම් සරුකොට, හිනැහී සැනහෙනවා...
යල වපුරා මහ වපුරා, ගොයමට දිය ‍රැළි නංවනවා...
මින්නේරිය වැව හෙට හී කවියෙන් උදයට ලංවෙනවා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...

10 comments :

  1. හරි ලස්සනයි. දැනටත් මේ දේවල් මෙහෙම තියන එකේ ඒ දවස්වල කොයි තරම් සජීවීබවක් තියෙන්න ඇද්ද. එදා කරපු දේවල් තමයි අදටත් අපිට ඉතිරි.
    අනිත් කාරණේ තමයි ගරු මර්සලීණු ජයකොඩි පියතුමා.. අද බලෙන් ආගම් වලට මිනිසුන් බදවා ගන්නා යුගයක්.... ඒ වගේම මට මතක් වුනා මොහෙද්න් ඛෙග් මහත්තයව... වෙසක් පෝයට පොසොන් පෝයට තමයි එතුමාගේ වටිනාකම කාටත් සිහිවෙන්නෙ..
    ආගමික සහජීවනය කියල අලූතින් දේවල් කරන්න කලින් කලින් අපි අතර තිබ්බ සහජීවනය අමතක කරන එකයි පුදුමය... කොහොම වුනත් හද ගී පොත හැමදාමත් වගේ ලස්සන ගීතයක්

    ReplyDelete
  2. හැමදාම හද ගී පොත, සොඳුරු සිත උණු උණුවේම කරන comment එක බලාගෙන ඉන්නවා...

    ReplyDelete
  3. ලස්සන සිංදුවක්.
    වෙහෙර විහාර කඩා දැම්ම තවත් රජෙක් තමා (සීතාවක) II වන රාජසිංහ රජ්ජුරුවෝ.

    ReplyDelete
  4. හැබෑව... හැබෑව... ඒත් රාසිං දෙයියන්න්ට මොකුත් කියන්න හිත දෙන්නේ නෑ අප්පා... ඕවා අරිට්ඨ කීවෙන්ඩුලාගේ නොමඟ යැවීම්...

    ReplyDelete
  5. හප්පා! අන්තිමට හම්බවුණා. මේක ඉස්සර හැමදාම උදේට ස්වදේශීය සේවයෙ යනවා. මාර ආසයි මේ සින්දුවට. පස්සෙ හොයන්න ට්‍රයිකළත් හරි ගියෙ නැහැ. ගායිකාවගෙ නම දැනගත්තෙත් දැන්. බෝම ස්තුතියි!

    --
    අනේ බාගන්න ලින්ක් එක වැඩ කරන්නෙ නැහැනෙ! ඉක්මනට හදන්න!

    ReplyDelete
  6. හප්පච්ච්යේ වස වැරද්ද...සොරි මලේ... ඕං හැදුවා...

    ReplyDelete
  7. මා ලියු විච්චූරණය එහෙම පිටින්ම දැම්මට බොහොම පිං.

    ක‍තෝලික ආගම අපිට පිටින් ආ එකක් වුනත් එය අදහන ලංකාවෙ ක‍තෝලිකයො අපෙ එවුන්ම බවත් උනුත් මේ රටේ උරුමය ගැන අයිතියක් ඇතිවුන් බවත් පෙන්නල දීපු ගෞරවණීය හිමි නමක් තමයි ජයකොඩි පියතුමා.

    ReplyDelete
  8. එල, ඔන්න බාගත්තා

    ReplyDelete
  9. ගස් වල හෙවණැලි වැඩියෙන් කළු වී..මේක ඇත්තම ඇත්ත රූපකයක්..

    ReplyDelete
  10. සංවේදී මිනිස්සුන්ට මේවා අහුවෙනවා... ඒ වගේ රූපක උපමා ගොඩක් මේකේ තියනවා නේද... මම කැමතිම "කවියක් ගීයට හැරුණ කලක්දෝ, ඉපණැලි නලියනවා..." කියන එක... අර නෙයිනගේ සූදුවේ කියන්නා වාගේ "එතුමා සුර පුර වැඩියේ අපේ තියෙන අහේතුවට..." පියතුමා සම්බන්ධයෙන්....

    ReplyDelete

 
Blogger Wordpress Gadgets