රසකාමිනියෝ....!

දෑතින් අල්ලාගෙන සිටි දියණියත් පුතනුවනුත් ඈ වම් පසට ගත්තේ වේගයෙන් විත් ලඟින්ම නැවතුණු වාහනයක් නිසාය...
-------------------------------------------------------
"හලෝ සචිත්‍රා....... ඔයා කොහෙද මෙහේ...?"
-------------------------------------------------------
මානව සම්පත් කළමණාකරණයේ  තම දක්ෂතා මැනවින් ප්‍රගුණ කර, අන්තර්ජාතික මට්ටමින්ම ඒවා තම ආදායමට සරිකරගත් සචිත්‍රාගේ සැමියා ඇයට හමුවන්නේ ඇය ගුරු විද්‍යාලයේ පුහුණුවන කාලයේදීය. ගුරුවිද්‍යාලය තම නිවස අසලම පිහිටි හෙයින් සචිත්‍රා ඒ දුර ගෙවා දැමුවේ පා ගමනිනි. මිහිකත නොනැලවූවද, මග මල් නොගැන්වූවද ඇගේ දිගූ කේෂ කල්‍යාණිය පිට මැද කෙළිදෙලෙන් කල් ගතකලේ ආයාචනත්මකවය. දිනක් සචිත්‍රා එසේ විද්‍යාලයට යන මග මෝටර් සයිකලයක ටයරයක් සිදුරුවී ඇගේ දෛවයත් කැටුව ඈ එන මග බලා සිටියේය.
------------------------------------------------------------------------------------------------------------
"කොච්චර කාලෙකින්ද මුණගැහුණෙ.... ඉතින් ඉතින් සචිත්‍රා කෙට්ටු වෙලා ටිකක්... කොණ්ඩෙට මොකද වුණේ... හරි ඔක්කොටම ඉස්සෙල්ල පොඩි දෙන්නටත් එක්ක බොන්න යමක් ගමු..."
------------------------------------------------------------------------------------------------------------
තම පළමු උසස්වීම සඳහා සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙනදා සුමිත් පාරට බැස්සේ වෙනදාටත් වඩා කලිනි. නුවුමණාදේම වන්නාසේම, ටයරය සිදුරුව ගියේ අලුත්වැඩියාව කරගත යුතු ස්ථානයට බොහෝ දුරිනි. දාඩිය මුගුරු දමමින් බයිසිකලය තල්ලු කල සුමිත් මදක් විඩාහරිනූ පිණිස නැවත්වූයේ ඒ අපුරු රුසිරිය නෙත ගැටිණි. මදක් ගෙල හරවා බැලු බැල්මෙන්ම ඔහු හද සිදුරුව ගියේ මුහුණ දුන් අබග්ගයද අමතකවය.
------------------------------------------------------------------------------------------------------------
"කොයි කාලෙද ලංකාවට ආවෙ...  ලොකු දුව හම්බවෙච්චි ගමං නේද ගියේ ඔයාලා...?"
------------------------------------------------------------------------------------------------------------
 "සියලු සතුට දෙන දෑ දිනක නිමවේ" යන්න සුමිත් අල්ලගෙන සිටියේ වැරදි අන්තයෙනි.  සචිත්‍රා තම මන තුටු කරනා විෂයක් නොවීම, සිඟිති පුතුගේ ආගමනයත් සමග තවත් සීග්‍රවනු සුමිත්ට ඉවසිය හැකි කාරණයක් නොවිණි. සිතෙහි සංහිඳියාව බිදීයාමට ඒ හැටි වෙලාවක් යන්නේ නැත.  සුමිත්‍ ව්‍යාපෘති සහායිකාවට ලංවන්නේ පිටතින් සතුට සෙවීමටය. තම සිත් ගත් මියුලැසිය හැරපියා ඒ කහ පැහැයෙන් යුතු ඡවී කල්‍යාණියට කිට්ටුවන්නේද තම ලෙයින් මසින් වැදූ දරුවන්ද අමතක කරලමිනි. කාලයේ අභියෝගයනට මුහුණ දුන්නද සචිත්‍රා පෙර මෙන්ම ප්‍රියමනාප ලෙසින් සිටින්නට උත්සාහ ගත්තද, සුමුදු සයනයන්හි සිනිදු ඇතිරිළිවලින් පලා ආ සිතුම් සියොතුන් ඈ පසුකර ඉගිලුණි.
-------------------------------------------------------------------------------------------------------------
"ඔයාගෙ හිත මෙච්චර හයියයි කියල ටියුෂන් යන කාලෙ මම නම් හීනෙකින්වත් හිතුවෙ නෑ...!"
------------------------------------------------------------------------------------------------------------
වනස්පතියක් බදා එහි වෙලී ඇති ලතාවෙක් මෙන් උන් සචිත්‍රා රූපාන්තරනය වුණාද, එසේ නැතිනම් කලාද යන්න හරි හැටි දන්නේ සුමිත්ම පමණකි. ඈ තිරණයක් ගත්තාය.
------------------------------------------------------------------------------------------------------------
"දැන් ඉතින් මේ කඩිමුඩියේ කොහෙද යන්නේ....."
------------------------------------------------------------------------------------------------------------
සුමිත් අහසින් පොළවට එනවිට පළිඟුව බිඳී තිබුණි. එහෙත් ඔහුට සචිත්‍රාගේ නවාතැන්පලෙහි තවමත් දොර විවෘතව ඇත. එහෙත් ඒ බදු ඔප්පුවකට යටත්ව ඉන්නා නිවැසියකුට හිමි වරප්‍රසාද මත පමණි. ඇගේ සිත එතරම්ම කාරුණික වීම ගැන දරුවන් දෙදෙනා මතු දිනකදී ඇයට බෙහෙවින්ම ස්තුතිවන්ත වනු ඇත.
------------------------------------------------------------------------------------------------------------
"හොඳයි හොඳයි එහෙමනම් යන්න... ගෙදර කට්ටියට කෑම ලෑස්ති කරන්නත් එපායෑ නේද?.... ඉස්සරනම් මෙහෙම යමක් බොන්න එන්න කියන්නවත් අපි බයයිනෙ.... ඔයා මෙහෙම කථා කල එක ගැන සතුටුයි... සුමිත්ව මතක් කලා කියන්න...!
--------------------------------------------------------------------------------------------------------------

  ඉද්ද මල් දෙනිය වත්තෙන් ඉද්ද මල් නෙලා
  පිච්ච මල් කඩා කන්දෙන් මාලයක් හදා
  හැන්දෑවේ මං එනකොට දූට ගේනවා
  ඉන්න නාඬලා එනකල් ඉන්න නාඬලා....

  පුංචි දුවේ බලන්න බිම් තඹුරු පිපීලා
  රූං කියනවා බඹරුන් රොනට ඇවිල්ලා
  පුංචි දූට අහන් ඉන්න සින්දු කියනවා
  පුංචි දූට අහන් ඉන්න සින්දු කියනවා....

  ආං ඉගිලුනා ඈතට කොණ්ඩ කුරුල්ලා
  පේර අත්ත උඩ ඉඳගෙන කොණ්ඩෙ බඳිනවා
  පුංචි දූට බලන් ඉන්න කොණ්ඩෙ බඳිනවා
  පුංචි දූට බලන් ඉන්න කොණ්ඩෙ බඳිනවා....

Read More!

වැස්ස ලඟයි බක් මාසේ....

ගැටවරයන්ගේ සිත්වල හැඟීම් තෙරපෙන්නේ අඹමල් පිපෙන කාලයට යැයි කියැවේ....
රෝහණ වීරසිංහයන් මෙසේ ගයයි...

  "හැන්දෑකරේ අඹමල් වට බඹරු නටන්නා
   නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා..."


මල්සරගෙ උක්දණ්ඩෙන් සැදූ දුන්නෙන් හී සර ලත් අය මෙන්ම එයින් උපන් අයද සිටිති..

  "උක්දඬු දුන්නෙන් උපන්නෙමි
   මල් මල් උයනක වෙසෙන්නෙමි
   රෑ සඳ ලෙස හිනැහෙන්නෙමී
   මමයි අප්සරාවී... අප්සරාවී.... අප්සරාවී..."


මේ කොයි දේත් පහසු කරවන, සමනය කරවන, කවුරු කවුරුත් හමුවෙන කාලයක් බක්මාසේ උදාවේ...

බහුතරයකගේ ජීවිත ගෙවෙනුයේ උදෙන්ම මහමගට, රාජකාරියට, එකම මුහුණු, ආපසු පාරට යන චක්‍රයකය...
සමහරුන්ගේ ජීවිත ගරාජයෙන් ගරාජයට පමණය...
ඒ අතරේ ඔවුනගේ ජීවිත ඔවුනටත් නොදැනීම තාරුණ්‍යයේ සීමාවනුත් පහු කර ගොසිනි...
මෙබන්දන් සමාජ ජාල වල සිරකරුවන්, ගොදුරු හෝ මෙහෙයුම් බලකායන් බවට පත්වීම ඉතින් පුදුමයක් වේද?

රෝහණ බැද්දගේට අනුව පහතරට සම්ප්‍රදායේ "දෝං තකට" යන අත් පෙරැළුම් පදයේ තාල ස්වරූපය උකහා ගනිමින් ඔහු අතින්ම නිමැවූ අපූරු කාලානුරූප ගීයකි "මල්සරා බැල්ම හෙලා.."
ඔහුටම අනුව සිංහල ජන ගීයේ තැන් තැන් වලින් උකහාගත් නාද මාලා ඔහු මේ ගීයේ සංයෝජනය කොට ඇත.

  මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා
  රන්මලී දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා
  හිත බැන්ද සෙනේ මම් පවසන්නෙම්ද කොයි ලෙසින්
  රන්මලී...

  තිස්සෙම ගම සුවඳ කරන් පිපුණා කිණිහිරිය මලී
  විස්තර දුටුවද බඹරුනි පිපිලා දොඹ මුතු කැකුළී
  ලස්සන හුරුබුහුටිකම‍ට දිලෙනා දෑතින් ළකලී
  ඉස්සර කළ පිනට මගේ පිපුණා බල ළඳ කොමලී

  ලස්සන ගුණ කනක බරණ සවන් පැලඳි පුල්ලි මලී
  ඇස් නිල්පුල් පෙති ගෝමර ගෙලවට දිලි රුවන් මලී
  කොස් උයනේ මගේ පැලට එළිය දෙන්ට පිපුණු මලී
  වැස්ස ළඟයි බක් මාසේ මා සනසාපන් කොමලී



 [ගීය උපුටා ගැනුම 'මියුරු ගී' වෙබ් අඩවිය]

ගීයට සවන් දුන් සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා "මලේ ඒ සින්දුව නම් උඹ කොහොම කළාද දන්නෙ නෑ. ඒකෙ මියුසික් කොම්පෝස් කරලා තියෙන විදිහ නම් අපූරුයි" යනුවෙන් අගැයීමක් කල බවද සඳහන්ය.

රෝහණ බැද්දගේ ශූරීන් විසින්ම රචනා කලද ගීයේ සාහිත්‍යමය ගුණ සොබාව ගැන යමක් ඒ හැටි සඳහන්ව නැත. එහෙත් අප කුහුල පත්තායමේ ලේකම් තුමා විසින් විරචිත "රතවතී කාව්‍යය" ලඟ මදක් නවතියි.

උම්මග්ග ජාතකයෙහි රාගයේ අසදෘශ ස්වභාවය දක්වා ගිරා පණ්ඩිතයින් විසින් සැළලිහිණි ධේනුව පොළඹවා ගත් කථාව එයින් විස්තර කෙරෙයි.

"රථාවතී කිම්‍පුරිසී - සාපි වච්‍ඡං අකාමයී
මනුස්සා මිගියා සඬිං -  නත්‍ථි කාමෙ අසාදිසා"


යනාදී ලෙසින් හැර දක්වමින් ගිරා පෝතකයින් විමසන්නේ අතීතයෙහි පංචකාම සම්පත්තිය හැරපියා වනගතවූ බමුණෙක් අස්වාමික කින්නරාවියක් හා රාගයෙන් බැඳී දූ දරුවන් ලැබ වසත්නම් පක්‍ෂීන්ම වූ අප දෙපාර්ශවය සරණය ප්‍රමාද මන්ද යන්නයි.

කවි අට්ඨාරසකින් සමන්විත රතවතී කාව්‍යයෙහි එකාදසය මෙසේය;

දිගු  නිල්   මුහුලස   කොඳමල්  කිණිහිරි     මලී   ලෙලී
මන කල්  දෙසවන   දොඹමල්  කැකුළෙන් එලී      දිලී
සපු  මල්   දම් අත්       හිරියල්   තිලකෙව්   ඇලී   සැලී
සුවි  සල්   පුලුලුර       මුතුදැල්    නලඹල    මලී ලොලී

 
කවිකුලතිලකාය මාන දොන් සාංචි ද සිල්වා අභය ගුණවර්ධන සමරජීව පත්තායමේ ලේකම්තුමා වර්ණනාවෙහි දක්ෂ බැව් අප කවුරුත් දනිමු...!



Read More!

යමු දෙන්නා...!

'හිතක පිපුණු මල්' චිත්‍රපටිය සංගීත ලෝලීන් වන අපට මහරු මිණකි!

එහි අඩංගු ගී වල විවිධ හැඩතල ඇත: කථා කල යුතු බොහෝ දේ ඇත!!

ෂෙල්ටන් ප්‍රේමරත්නයක් විවිධ අවස්ථාවලදී තුමූම පළකල අදහස් හැරුණු කොට මේ ගී සම්බන්ධයෙන් යම් මට්ටමක හෝ කතිකාවක් ඇති නොවුණේ මන්ද යන්න  විමැසිය යුතු කාරණයකි.

එකකට එකක් වෙනස් හැඩතල වලින් යුතු ඒ ගී කට්ටලය මෙසේ වේ:
  • ආශා දහසක් දෑසේ ලියැවේ ලියැවේ - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - ජෝතිපාල, රංජනී පෙරේරා
  • චංචල නූපුර කිංකිණි ජාලේ - ධර්මසිරි ගමගේ - සුජාතා අත්තනායක
  • කමලාසණී වන්දනී - ධර්මසිරි ගමගේ - පී. වී. නන්දසිරි
  • කිරි සයුරින් මතුවූ කිරි බුබුලක් - වික්ටර් රත්නායක, විමල් ජේ. සාගර ඇතුළු පිරිස
  • මා මිනි මාමිනි මා දෙයියා - දොස්තර ආර් ඒ ස්පිට්ල් - විමල් ජේ. සාගර ඇතුළු පිරිස
  • පුංචි පුංචි පුංචි පැංචි කාලේ – ධර්මසිරි ගමගේ - එම්. එස්. ප්‍රනාන්දු (ධර්මසිරි ගමගේ)
  • රැඟුම් ගැයුම් වැයුම් / No West No East - ධර්මසිරි ගමගේ / ගරු මර්සලින් ජයකොඩි පියතුමා -    නන්දා මාලිනී / ඩැල්රීන් ආනෝල්ඩා
  • වෙන්නිල් උලිකුම් - දෙමළ ගීයක් 'චංචල නූපුර' තනුවටම - යෝගා බාලචන්ද්‍රන් - සුජාතා අත්තනායක
මේ සමූහයෙන් අප හද බැන්දාවූ  'මා මිනි මාමිනි මා දෙයියා..' ගැන අද කථා කරමු.

සතුන් 'විද' දඩයමෙන් ජීවත් වූ (ව්‍යාධ - වැදි) වැදි ජනයාගේ ඇදහීම් වඩාත් කිට්ටු වන්නේ ආර්‍යයනට වඩා ද්‍රවිඩ හා යක්ෂ ගෝත්‍රිකයන්ගේ වත් පිළිවෙත්වලට බව පොත් පත්හි සඳහන්ය. සිංහල යාතුකර්මවල මෙන් බෙර, බොහෝ අවස්ථාවලදී භාවිතා නොවූවද යටිබඩට තට්ටු කරමින් නැටීම ඔවුනට ආවේණික යැයිද සඳහන්ය.

වැදි සංස්කෘතිය පෙරළා බැලීමට අතීතයේ උනන්දු වූ සුදු මහත්වරුන් අතරින්  දොස්තර ආර් ඒ ස්පිටල් මහතාට වැදගත් තැනක් හිමිවේ. ඉහත අප කී 'හිතක පිපුණු මල්' සිත්තමේ අපූරු වැදි ගීයට පද සැපයෙන්නේද ඒ මහතාගේ උනන්දුවට පින්සිදුවන්නටය.

එකටෙක යා නොදෙන වැදි ගී කිහිපයක පද අමුණා නිමැවූ 'මා මිනි මාමිනි මාදෙ‍යියා' ගී පද වැල, කර්ණ රසායන ගීයක් බවට පෙරලන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය.

ගීය අසමින්ම එහි පදවැලත්, පදරුතත් යම් පමණෙකින් විමසමු.
[මෙහිදී අපට උදව්වන්නේ 'සඳරුවන් ලොකුහේවා' මහතා ලියූ "බින්තැන්නේ වැද්දෝ" හා ජාතික අධ්‍යාපන ආයතනයෙන් මුද්‍රණය කල "ජනකවි - 1" යන කෘති ද්වයයි.]

 
[මුල් ගීය - මෙහි අග කොටස සම්පූර්ණයෙන්ම නැත]



[මියුරු ගී වෙබ් අඩවියෙන් උපුටාගත් පසු පටිගත කිරීමක් - පද සංයෝජනය තරමක් වෙනස්කර ඇති වුවද අග කොටස සම්පූර්ණයෙන්ම ඇත.]

දඩයම් යාදින්නක්, වන සැරියක්, නායකයා පිළිගැනීමක් ආදී වැදි ගී කිහිපයක කොටස් වලින් මේ ගීය සමන්විතය.

මා මිනි මා මිනි මා දෙයියා - දෙයියා දෙයියා - දෙයිය දෙයිය දෙයිය
- තාලය ඇල්ලීමේ තානම් පදය

කාබෙන් පා බල යක්ගම වේ - යමු දෙන්නා
- යක්-ගම (යක්කම) නම් නෑ යකුන් පිදීමේ යාතුකර්මයයි. සම්පූර්ණ පදයේ අර්ථය පැහැදිළි නැතත් දඩයමේ යාමට පෙර නෑ යකුන්ගෙන් ඒ සාර්ථක වෙන පිහිට පතා  දෙන්නාත් සමග යමු යැයි කීවක් සේ හැඟෙයි!

බිමින් යන්නට බොල් පිනි බැරිනම්
බැරිනම් - බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
වඩනා මීමා ලණු බැඳ ගන් - යමු දෙන්නා....

මීමා පිටේ යමු දෙන්නා - ගෝ බිඳු කැලේ යමු දෙන්නා....
- පොළවේ පිනි නිසා සීතල නම් දඩයම් මීමා ලණුවෙන් බැඳ ඌ පිට 'තලගොයින් දඩයමේ' [ගෝ බිඳු] යමු යැයි පෙම්වතා පෙම්වතියට කියයි

ගෝයා පුච්චා කමු දෙන්නා - ගෝ කුර පුච්චා කමු දෙන්නා
ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා - ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා

ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා...
ගෝ අකුමා ටික මා කඤ්ඤා....
- තලගොයා පුච්චා කමු, කුර සහිත ගාත් පුච්චා කමු, වල්ගයත් [ටොඹු] පුච්චා කමු
[ඉනික්බිති හොඳම හරිය වන] අක්මාව මම කන්නම්, තිට බඩවැල් ටික දෙන්නම් [පෙම්වතාගෙන් පෙම්වතියට විහිළුවකි!]

වැල් කොබ්බෑ වැල දුන්න නමාගෙන - එන්නේ ඔලගල මා ලොකුවෝ....

අඟර නැටුම් නටන නංගිට - රූබර බෙර පද ගචාපෝ
රූබර නැටුම් නටාපෝ - වල් අත්තෙන් නටාපෝ
චොඳ චොඳ නැටුම් නටාපො - අපටත් වෙත්තිල බෙදපෝ
මෙත්තට ආවා බොල දෙයියෝ
තං තදිනානේ තදිනානේ
තං තදිනානේ තදිනානේ
- වැල් කොබ්බෑ වැලකින් සැදු දුන්නක් රැගෙන ඔලගල රැහේ නායකයා දැන් මෙතනට එනවා
නංගිට නටන්ට ලස්සන බෙර පද වයාපන්
අතු මිටියක් ගෙන සොලවමින්  ලස්සනට නටාපන්
හොඳින් නටනා ගමන් අපටත් බුලත් දීපන්



ආශ්‍රිත කෘති:
ලංකාවේ සංගීත සම්භවය - සී ද එස් කුලතිලක - ඇස් ගොඩගේ ප්‍රකාශන (1974) 2007
• ජනකවි - 1 - ජාතික අධ්‍යාපන ආයතනය - 1994
• බින්තැන්නේ වැද්දෝ - සඳරුවන් ලොකුහේවා - සරසවි ප්‍රකාශන - 2009


සංස්කරණය - 1
'හිතක පිපුණු මල්' චිත්‍රපටියේ අනෙකුත් ගීත:
Read More!

දිනක් එතේ මිතු දමින් සිනාසෙන...

රි ග ම රි ස නි ධ ප ම ග නි ග
රි ග ම ග රි ස නි ධ ම ධ ස නි

හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...

මලක් වගේ පිණි සලා පිපී එන
දොලක් වගේ රැළි නගා සිනාසෙන
හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...

රි ග ම රි ස නි ධ ප ම ග නි ග
රි ග ම ග රි ස නි ධ ම ධ ස නි

නෙතින් නෙතට තුටු කඳුලු ගලායන
හදින් හදට මෙත් හැඟුම් උදාවෙන
පියෙන් පියට මල් කැකුලු පිපී එන
දිනක් එතේ මිතු දමින් සිනාසෙන

විසල් ලොවේ සමණලුන් නියාවෙන
සුපුල් පැතුම් ගගනතට පියාඹන
කුසුම් සමේ ජීවිතය සිනාසෙන
ලොවක් එතේ සුව සිහින සෑබෑවන

හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...

මලක් වගේ පිණි සලා පිපී එන
දොලක් වගේ රැළි නගා සිනාසෙන
හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...

Read More!
 
Blogger Wordpress Gadgets